Pages

Tuesday, September 28, 2010

රනිල් ගේ සෙත් කවිය


බල තෙද ගුණැති අනුහස් ඇති සුවාමිනේ
හල මැන දිවැස කරුණා සිත ඇති පෙමිණේ
විල සට හිටිය මුත් සිරිලකට පා සෙනේ
ගල ගණ්ඩයෙන් මා සිරවුණ බවක් දැනේ

බල සුබ නැකැත් එනතුරු මග ජය කැන්දා
නිල තල දැන උපා වෙහෙසින් විඳ නින්දා
විල වැද මඩෙහි ලැග විඳිනා ලෙද ගිජිදා
කල බල නැතිව සූවිසි වසරක් වින්දා

පල නොකියන සකියෙකු පක්ෂයට නැත
කල පෙර භවයකදි පවු මිස අද වරද නැත
කුල ගොත් පැරණි දොස් හෙම දා ඉවත
දළ ඇන බිම යදිමි සුරකිනු මගෙ දෙඅත

දොළ ඇති නමුත් රජ වෙන්නට ලක් දෙරණේ
කෙල වර බවක් නොපෙනේ මිහිඳු පාලණේ
නොල දත් දිනෙක ජනපතිකම හිමි සඳුණේ
කළ පින් මදිද ඉන්න මෙහෙමම සදා අනේ



හිතුවක්කාරයා

Sunday, September 26, 2010

සංවේදී නිව්යෝක් ගමන

අමු අමුවේ දොස් කිව්වා - වහසි බස් දොඩා බැන්නා
ආක‍්‍රමණ විපත් හදන රකුසෙක් බව පෙන්නූවා
එහෙව් රටින් උදව් එපා - බටහිර ගැති නැති යුගයක්
හදන වගක් අපට කියා උදම් රළ වගේ නැගුණා

රළ වෙරළට ඇවිත් හැපී - වැලි තල මත පෙණ නංගා
හෙමින් සීරුවේ ආයෙත් දියඹට බලා ඇදී ගියා
අපි දත්මිටි කන අතරේ - කණ කොක් කිරි සුද පෙන්නා
මෙහෙව් රටේ මැති ඇමතින් රජ බිසොවුන් නැව් නැංගා

කිරි පුස්සා වැට කැඩුවා - අනෝරා වැසි වැටී තෙමුණා
වක්කඩ අහලම ගැවසුන තිත්ත පැටවු ඔලොක්කුවට උඩ පැන්නා
කග ලෙලවා වැනූ සුරත ලිහී - දෙදණින් වැටුණා වාගේ
සුරපුර මැවුන බටහිර අහසේ - මුතු කැටය කඳුළකින් වැහිලා


- හිතුවක්කාරයා

Wednesday, September 22, 2010

අහිමි වීම

තාරුකාවක් වගේ දිළිහුණ කඳුලු කැටයක් කඩා වැටුණා
අපේ හිත් එකිනෙකට පැටලී තිබුණ උණුහුම බිඳුණ දා
පැහැබර අහස වාගේ පැතිරුණ හිනා රුල් ඉක්මනින් වියැකුණා
වෙන්වී ගියා වැහි පොද මැදින් කලු අන්ධකාරය පතුරා

නික්ම ගිය මොහොතේ දී ය දැණුනේ
සෙනෙහසක් කොතරම්ද අගනා
හිත අද්දරම දැවටුන හිතක සැනසුම
අහිමි වී ගිය සුවඳක්ම මිස අනෙකක් නොවනා

හිත පාරනා සුසුමක වෙලී ඝන අන්ධකාරය ඇදෙයි
නෙක හීන අහලින් යළි යළිත් පෙනී පෙනී නොපෙනෙයි
උණුහුම යැයි හිතා දැවටෙන මතක මිහිරක විනා
රන් මුදුව හිමි නමුත් ඒ මගේ හීනය නම් නෙවෙයි

Wednesday, September 15, 2010

සිව්රියන් හාරන්නෝ හෙවත් පොලීසිය

කාකි වෙස් ගනිති තද හිත් ඇති යක්කු
අත පය බඳිති මුවගුලු ලා තඩි බාති
සිඳිති බිඳිති නිති ජඩයන් ලෙස වෙසෙති
අප හිස නමති රැකවල්ලන් යැයි කියති

වනේ වෙසෙන තිරිසන් ගති අති නාරී
කුලේ මිනිස් බව නොදනිත්දෝ මෙම රිරී
උතුම් මිනිසුන්ව ගෙන ගල ගහලයන් සරී
යැපෙන උන් පමණක්ම ඇයි දෙයියනේ හරී

සැක කරුවන් එල්ලී කූඩුවෙ මැරෙනා
නිල බල අධමකම තරු පටි මැද දිලෙනා
පවුකාරයන් වී මිනිසුන් මැද වෙසෙනා
මෙම නිලකාරයන් වනසනු දැන් ඉතිනා

වනේ සතුන්ටත් සදහම් නීතියක් ඇත
ගහල නිල මැරයන්ට ඒවා වගක් නැත
මරණය පෙනි පෙනී යුක්තිය සොයා යන
මිනිසුනි වල කණින බැලයෝ එහි වෙසෙත

--හිතුවක්කාරයා http://hithuwakkaraya.blogspot.com

සහතිකයි - මම ලියූ කවියකි

හිර ගෙදර හිර කඳවුරෙ පොල් ලෙලි තැලූ හිරකාරයන්
රට පුරා දෙස් දෙවොල් දී බැන අඬ ගැසූ පිළිමලුන්
එතෙරින් ඇවිත් රට ගැන හොයා උප දෙස් දෙවූ සුද්දන්
එතැනම ලැගී පන ගැට ගසා ගෙන ඔජ වඩන බත් බැලයන්

මහ මගුල් බව හුවා දනට බත් වඩා දුන්නේද නුඹ ම ය
වැඩිම වැඩි ලෙන් ගතු බවක් පෙන්නා දරු වැඩූවෙ ද නුඹ ම ය
අතින් ගෙන කරට අත දා මහා හිනාවක් පැතුරුවා නුඔ ම ය
ඉදින් මාහ ට පෙනෙන්නේ නැති - කොතැනක ද මෙම සතර අගතිය

සුවෙන් බර සුපෙම්බර දනෝ නිති පසුවෙනා
සුපින්වත් ගුණ දහම් රට පුරා පැතිරෙනා
කලට වැසි ඇති - දනට නිති කිති කවා සනහනා
අයෝමය රජු නුඹය ආයුබෝ වාසනා

Monday, September 13, 2010

හිතුවක්කාරයාගේ අසෝබන කතා - 2 - නායක තුමා හමුවීම

හිතුවක්කාරයා පිටකෝට්ට හන්දියේ ඇවිදගෙන යනවා. මෙන්න තියෙනවා අද අදින ටිකේට්. ලක්ෂ එකසියාසූවයි. ආ එන්ඩ ගන්ඩෝ කිය කියා හාදයෙක් ලොතරුයි විකුණනවා.

‘‘මෙතැනින් පෙට‍්‍රල් ගත්තා. ගිනි තියාගත්තේ අතන. එන්ඩ අදයි වාසනාව. එයාලගේ අවාසනාව. අපේ වාසනාව ටිකට් ගන්ඩෙයි.‘‘ ලොතැරුයි කාරයා ටිකට් විකුණන්නේ පරණ කතාන්දර මතක්කර කර.

හිතුවක්කාරයා පාර පැන්නා. අහුවුණේ සෙනග තද බදේකට. තල්ලු වෙවී ගිය හිතුවක්කාරයා නතර වුනේ පක්ෂ කාර්යාලය ඇතුලෙ.

තාමත් හිනාවෙවී ඉන්න නායකතුමා හිතුවක්කාරයා ගෙ ඔහොම මෙහෙම.

‘‘ආ....බොහොම කාලෙකින් දැක්කෙ. ‘‘ උන්නැහේ පළමුවෙන් කතා කරන්න පටන් ගත්තා.

‘‘ එහෙමයි...බලල යන්ට කියල ආවෙ.’‘

‘‘ එහෙම් ම ගිහිල්ල බැහැ. යමු.... අපි කහට කෝප්පයක් බොන ගමන් කතා කරමු.’‘ නායකතුමා ගෙන් තේ කෝප්පයක් බොන්න හම්බ වුණා නම් පක්ෂය දාලා ගිහින් ආණ්ඩුවට එකතු වෙලා එදා වේල නැතුව ඉන්න සෑහෙන පිරිසක් අද මෙතැන නේද? කියල හිතුවක්කාරයාගේ හිතට ආවා.

‘‘ ඔබතුමා එදා කලු කොට් ඇදල හිටි දවසෙ හරි හැඩයි’’ හිතුවක්කාරයාට කියැවුණා.

කතාවක් නැහැ.

හැබැයි එයිට යටින් සුදු කමීසයක් නොවැ ? කට තියාගෙන ඉන්න බැරි හිතුවක්කාරයා තව ප‍්‍රශ්නයක් අතඇරියා.

‘‘ මෙහෙම නෙව. මම කිව්වෙ කලු අදින්න කියල. මමත් ඇන්දා. මාව අන්දන්න හිටි ඈයො සුදු ඇන්දා. මම එවුන්වත් ඇන්දුවා. මම කලු ත් නෑ සුදු ත් නැහ්. තේරුණා ද? නායක තුමා ඇහුවෙ පුටුව දිහාට අත දිග් කරන ගමන්. හිතුවක්කාරයා වාඩි වුණා. නායක තුමාත් හරි බරි ගැහිලා වාඩි වුණේ දිග කතාවකට මුල පුරන්න.

මුලු කාමරය පුරාම රාමු කරපු පින්තූර. නායක තුමා නායකයන් එක්ක ඉන්නවා. කතා කරනවා. අතට අත දෙනවා. පරණ නායක නායිකාවෝ. දැන් ඉන්න අය. මේ රටේ අය. පිටරට අය. බිත්තිය ඓතිහාසික කතාන්දරයක් වගෙයි.

‘‘ ඔය ඔක්කොම වැදගත් දේශපාලන අවස්ථා තේරුණාද? ‘‘ නායක තුමා මගේ අවධානය අවබෝධ කරගත්තා.

අන්තිම කෙළවරේ රටේ නායකයා එක්ක උන්නැහේ ඇවිදගෙන එන පින්තූරයක්. අපේ නායක තුමා කෝට් ඇදලා. රටේ නායක තුමා ඉන්නේ එක්සසයිස් ඇදුම පිටින්. ‘‘ඔබ තුමාව අන්දනවා කියල හොදටම දැන දැනත් විධායක අගමැති කමක් ගැන කතා කරන්න ගියේ මොන හිතකින්ද? දැන් බලන්න ඒ සෙල්ලමෙනුත් තමුංගෙ දහ දොලොස් දෙනෙක් නැතිවුණා නෙව.‘‘ ඒ පින්තූරෙ දිහා බලාගෙන හිතුවක්කාරයා කතා කළා.

‘‘ මෙහෙම හිතන්න. එයාල ගියා. තව තව තරුණ බලවේග එකතු වෙනවා. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. ඒ වගේ පවුල්වාදී ඒකාධිපති වියරුව මට නැහ්‘‘ මෙතුමා කියනවා.

එතකොට හිතුවක්කාරයා ඇහැව්වෙ ‘‘ ඔබතුමාට ජනාධිපති වෙන්ට අදහසක් නැද්ද?‘‘

‘‘ පුහ්..... එයා එහෙමම හිටියාවෙ. දැන් මමත් මෙහෙමම හිටියාවෙ..... කහට එක බීලා උන්නැහේට මෙහෙම හිටින්ටත් පුලුවන් දැන් මෙහෙත් කවුරුවත් එහෙමටම නැහැ නෙව......’‘

සීනි ටිකක කටට හලා ගත්ත හිතුවක්කාරයා පාරට පැන්නා. සාත්තර බණ්ඩාරට කියලා කේන්දරය බලාගත්තොත් හො`දයිහිතුවක්කාරයාට හිතුනා. ‘‘තරුණ බලවේගයකට නවතින්න තැන‘‘. ආපහු හැරිලා බලපු හිතුවක්කාරයාට කියැවුනේ නෑ. කල්පනාවට ආවා විතරයි.




Sunday, September 12, 2010

ශ්වේත රාත‍්‍රිය

ඈ විලාසිනියකමැයි - අප නොදන්නා වග දන්නා
නොවී ගොදුරක් වී කරනු කෙලෙසක යැයි දන්නා දඩයම්

මහ රාත්තිරියක් උදා වෙන බව පෙනෙන මොහොතේ
අවුලවන ගිනි වැට අතරින් බලන්නී ආලෝකයක්

හමන පවනට නොදා පාවෙන්ට වියලි තණ පත්
සුලං හමනා දිසාවට ඉව අල්ලන්නී ලත් සහජයෙන්

නැන නුවණ වැඩී ඇති මුත් අප ද ලපටි තණ ගිරවුන්ය
පනින්නී දැක දැකත් ඇවිලෙන සොඳුරු ගිනි දැල් වෙත


විටෙක ඇය වැඩී ආ ගොර බිරම් දේශයක වීරවරියයි
මාරාවේශයෙන් සිටින මැරයන් හමුවේ සුදුවත හැඳ සිටි

රට ම ආවේශයක හෙලුවේ මන්ද - දැන දැන එ මැරයන් හමුවේ
දස දහස් තරුණන් ජීවිතය විඳි න්නට පෙර මිය යන බව

එයින් පසු පැරණි කවි වැල් ගෙන ගොතා මාලා පළඳවා ගත්තී
අනුන් එය කරනා විට දොස් පරොස් නැගෙන ලෝකයකම

කැඳවා රට පුරා දුහුනන් ඔවුන් අත ලියැවුන මල් නෙලා
තමන් මල් කළඹක්ව වී පිදුනාය පූජාසනයක නොදන්නා

විරෝධය? ජාතිවාදය පමණක් ද දරුවන්ට ඉගැන්වී අකුරු ද
සත්‍යය ය මෙයැම වේ යැයි කල්පනාවේ ගැලී සිටි දුහුනන්ට

තැන තැන වෙඩි පුපුරවමින් දිවි නසා ගන්නා සොයුරු කැළ
මළ ගෙදරක් කළේ රට එවිට නොපෙණුනි ඈ සිහිනයෙන් වත්

දැන් ඉතින් කාලයයි - යළි විඳි න්නට විදා අත් මේ ආහ්ලාදය
තුච්ජ යැයි උන් කියූ මණ්ඩපයකට වී - ගිනියම් රටක ශ්වේ ත රාත‍්‍රිය




---
මම මෙම කවිය දිනමිණ කව්සිලිලාර ට මේල් කළා. සිංහල පත්තර සාමාන්‍යයෙන් තාක්ෂණය භාවිතා කරන්නේ ඉතාමත් අඩුවෙන්. රාවය විතරයි හැකි හැම අවස්ථාවකම තාක්ෂණයෙන් වැඩ ගන්නේ. විශේෂයෙන් දහ අට වැනි පිටුව. පුදුමයි. මගේ නම එව්වොත් පළකරන්නම් කියලා දිනමිණ උත්තරයක් එවලා. හිතුවක්කාරයා කැමතියි හිතුවක්කාරයා නමින් පළවෙනවාට. දිනමිණ කැමති නෑ. ඒත් කාංචනා කරුණාමුණි තාක්ෂණය භාවිතා කරන එක ගැන සතුටුයි. --හිතුවක්කාරයා

Monday, September 6, 2010

පිල් මාරුව

අනේ අපොයි මහන්සියෙන් ජන්ද පොලට ගියා තමයි
දස මැරයන් - කුඩ්ඩන් හා අරක්කු ග`ද මැද්දෙන්
ඉලක්කමක් තෝරාගෙන අමාරුවෙන් හිත හදාන
ජන්දෙ දුන්නෙ රට වෙනුවෙන්

ප‍්‍රතිපල කියවන දවසේ මග බලාගෙන ම හිටියත්
රටත් හෙටත් ගැන හිතලා ජන්දෙ දුන්න මං පැරදී
ෆයිනල් කට් - කට් ටු කට් උඩින් ඇවිල්ලා
ප‍්‍රජාතන්තරවාදය කියන්නෙ ජන්දෙ දුන්න තරම තමයි

ඇමති සාද අහවර වී ආයෙත් ඉර උදාවුණා
ආපහු නොගිහින් ඉන්නට හාද හිතක් පහල වෙලා
එවුන් ගිය දා උන් කියැව්වෙ අපි යන්නේ රට වෙනුවෙන්
ඉතුරු ටිකත් දැන් කියන්නෙ අපි යන්නෙත් රට වෙනුවෙන්

හිතුවක්කාරයා

Wednesday, September 1, 2010

නිදොස් - නිදහස් වූ මර්වින්ගේ කවිය

කවදහරි දවසක නාමල් අසල ම ඉදගෙන
මයේ ලොකු එකා කැළණිය බබලවන
හීං හීනය පුපුරා හැලෙන්නට කලින්
මං උගේ කට ඇතුලට උණ්ඩ නැති පිස්තෝලය එබුවා

කිටි කිටියෙ ගැහෙන දත් වලින් ගිනි විසිවෙන්නේ නෑ
පවුරු පෙරලා නැගෙන අත්
දැවෙන යකඩය අතින් අල්ලන්නට හදන්නෑ
නැගෙන දොස් වාත වෙස් ගෙන හමනවාමයි
වාසුලි නගා කළඹන්නෙ එහෙමමත් කාලෙකයි

අපි අපේ මග ඇවිදිනා විට ඇවිලෙනා කටු
කුමට පාගා වධයක් යැයි සිතන්නේ
තැලෙන පෑගෙන උන් මතින් ගිනි අවුලවා
උනුන් දැවෙනා විටෙක එයින් සීතල මැකේ නම් මිස

හිතුවක්කාරයා