ඇහි බැම සැලේ කඳුලක් බර වුන කලට
අඳුරක්බව පෙනේ මම ඉන්නා අවට
සුසුමක් වෙලා පාවී ඈතට යන්ට
මම කවි කරමි දැනෙනා දුක හදවතට
තරු පටි අහිමි හිමි ජම්පරයක කිලිටි
පෙනුමෙන් කියයි වග ඉවතට හල දැහැටි
පූජාසනය වෙත යන මග නොම විය බුහුටි
දෙවියන්නැති බිමක සැනසෙමි අසරණව වැටී
දිය බඳුනක් ගෙනැත් සෝදා කළ කළඑළිය
සිර කුටියෙම පිහිටි අබලන් වැසිකිලිය
බත් පත බෙදන හොදි ඉහිරෙන බුන් තැටිය
මේ උරුමය පතා දෝ රට මට දුන්නේ එඩිය
මධුවිත සාද තෙපුලෙන් බර ඒ දවස්වල
යුධ බිම සටන් පෑ විකුමන් ගැන තෙපුල
එතුමන් සමග සිටි පිරිවර අසන කල
හැඟුමන් දැණුන පිරිපුන් හිත නැහැ මෙකල
අඩියෙන් අඩිය කොටියන් සිටි බිම ඇල්ලීය
රජු දෙපතුල තබා සිඹ අත පා පෙන්වීය
එදවස නොවේ - අප දෙදෙනෙක් එක හිතය
එක පත කෑ නමුදු ඔහු රජු - මම සිරකරුය
සිර කඳවුරේ බර වැඩ නැති වෙලාවක
පැදුරේ වැටී ලියනා කඳුලින් කවක
අවසන් තිතට පෙර කඩදාසියෙ කොනක
සතුරා ගැන ලියමි මිතුරන් නැති විටෙක
0-22032 - පොන්සේකා
- හිතුවක්කාරයා විසිනි
1 comment:
එක පත කෑ නමුදු ඔහු රජු - මම සිරකරුය
(කෙස් ගහක වෙනසක්)
Post a Comment