Pages

Friday, October 29, 2010

අබිමන් සිරිලංකා

ලෝකෙන් උතුම් රට
බුදු ගුණ ගයන හැම විට
වැසියන් කිසි ලෙසට
දහම පිළි නොගනීය කමකට

හැසිරෙන ලෙස පියුම්
දන නිති කරති පින්කම්
තැන තැන තැබෑරුම්
මත කෙරෙති වැඩි වෙළඳම්

මසට ලොල් මිනිසුන්
කා බී ලෙසින් තිරිසන්
වනසන දැයේ අබිමන්
වෙන කොහි වෙත්ද විමසන්

අනෙකුන් නැගෙනු දැක
ඇද බිම දා මිසෙක
සැනසෙනු නැති විටෙක
පවතිනු ඇති ද නැග්මක

ජරපත් මහල්ලෙක්
ගැබිනියක් දරුවෙක්
දෙස ලය නොවෙන වක්
දනුය එය අපගේ ම හැටියක්

ගෙයි කුණු එකතු කොට
හොරැහින් මගට දැමුමට
විලියක් නොමැති විට
දුක කුමට පවසනු ද අනුනට

මහ මග නීති නොතකා
තැනින් තැන බැස පොරකා
හැසිරෙන තලා අනෙකා
උපා දෙයි දරුවන්ට නිසැකා

තමන් අත ඇති යුතුකම
ගැන නොසිතනා නිතරම
අයිතිය ගැන ම විමසුම
අප රටට පමණක් උරුම කිම

සොබා දහමින් ලැබුණ
අනගි සම්පත් වනසන
ගොරහැඩියන් වෙතින
කෙසේ සුරැකේ ද මතුදින

අනුකාරක මිසක්
යමක් නිපදන වගක්
නොපෙනෙන විට රටක්
නැගිට කවදා වේ ද එළියක්

පැරණි ගති දා ඉවතට
අලුත් අදහස් ගෙන හිතට
බැඳී අත එක ලෙසට
නැගී ආවොත් මේ යැ අප රට


- හිතුවක්කාරයා

2 comments:

charmi said...

හිතුවක්කාර සිරිත් මල්දම.
හොඳ පබැඳුමක්.

සංකල්ප said...

නියම සංකල්පනාවක් !!!!! දිගටම ලියන්න මගෙන් සුබ පැතුම් !!!!!