Pages

Monday, July 19, 2010

ඩෙංගු

හූනු බිජු ලොසින්ජර
ඇගිලි වැනි විස්කෝතු ද
අපට අරගෙන එදා
තාත්තා ගෙට ආව මතක ද?

සරම කැහැපට කඩා
විලුඹ තැවරුණ මඩ සූරා
හෙමින් හිස අතගා
අපේ ඇති දැගලිල්ල ඉම්බා

ඒයි ඇහුනද කියන්නේ
අම්මගෙන් විස්තර පුරන්නයි
උඹල කෑව ද අහන්නේ
තමන්ටත් දෙන්නැයි කියන්නයි

එකිනෙක දවස් ගෙවුණා
දැලි රුවුලට කලින් ගමෙන් ආවා
ණයට ගත් පුංචි ඉඩමක
අහස අල්ලන ගෙවල් හැදුවා

පොඩි දරුවන්ටත් දැනෙයි
උදේ දහවල් ගෙවෙනහැටි දැන්
පාන්දර තැම්බූ බතම
හැන්දෑවටත් රත්වෙයි

අපේ දවසක් ගෙවෙන හැටියට
අනේ උන්නා මදැයි නොසිතෙ ද
දහ අතේ ණය වී- එන විටදි ගෙදරට
කොයිල් මිස වෙන යමක් අවැසිද?


හිතුවක්කාරයා




2010.08.08 රාවය පුවත් පතේ 18 වැනි පිටුවේ මේ කවිය පළකර තිබුණා. ස්තුතියි.

No comments: