ඈත පෙණුනත් නියං සායට කරවුන හේන
සිළිදු ඇවිද ගෙන ගියේ කැකිරි තියඹරා කඩන්න
වදුරන්ගෙන් ගැලවී හැංගිලා තිබුණ බටු අමු මිරිස්
ඔඩොක්කුවකට කඩා ගත්තා
ගහ මැරිලා ගහේදිම කරවුණ ලපටි බඩ ඉරිගු
පරඩැල් කඩා දතින් - කොනහමින් කාස්ටක ගති ඇතිව
තව තවත් කිරි වැදුණු කරල් අහුලන්න
හුදෙකලාව පොරබදන අතරතුර
තිබහ යන්නට දිය ඇබින්දක් හොයා ගෑටුවා
ඇණෙන නිදි කුම්බා කටුවක් ආයෙත් කකුල ට
ගලවන්න හිතෙන් නෑ ඒක රිදුමක් නෙවෙයි
ඇවිදින විට ගිනියම් බොරලු කැට උඩින්
දැනෙන වැලිපාර අවුස්සාගෙන ඉඹින දූවිලි සුවදයි
කණාටුව ගිය වැලකින් කඩා ගත්මෑ අහුරක් එක්ක
බටු අමු මිරිස් එකට දා හදන හොදි එක්ක
හැමදාම කන කුරක්කන් තලප වෙනුවට
තොටමුණෙන් ගොඩ බාන රහ දැනෙන දවසක්
දෙකංසෙන් ගැලූ දහඩිය ඇවිත් වියලිලා කරවෙලා
තොල තෙමාගන්නට තනන දිවට දැනුණේ
මිදුණු දහඩිය බිංදුවක
තිත්ත ලුණුකැටයක කරදිය රහ
- හිතුවක්කාරයා
2010.08.29 - රාවය පුවත් පතේ 18 වැනි පිටුව මෙම කවිය පළ කළා. ස්තුතියි
No comments:
Post a Comment